Blog Archive

Monday 9 May 2011

අදත්තාදාන පාරාජිකා ශික්ෂාපදය

එකල්හි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එකල්හි වනාහි යහළු වු භක්තිමත්වූ බොහෝ භික්‍ෂුහු ඉසිගිලි පර්වත පාර්ශවයෙහි තණකොළ වර්‍ගවලින් පැල් සාදා වස් වැසුවාහුය. කුඹල්කරුවෙකුගේ පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙමේ ද තණ පැලක් සාදා වස් විසුයේය.ඉක්බිති වස් විසූ ඒ භික්‍ෂුහු තුන්මස් ඇවෑමෙන් තණපැල් කඩාදමා තණද, ලී ද, තැන්පත් කොට තබා තැනින් තැන ඇවිදීමට ගියාහුය.කුඹල්කරුවෙකුගේ පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙම්ද එහිම වස් විසුයේය. හිම වැටෙන කාලය ද ග්‍රීෂ්ම කාලයද එහිම විය. (2) කුඹල්කරු පුත්‍ර ආයුෂ්මත් ධනිය ගමට පිඬු පිණිස වැඩියේ තණකොල ගෙනෙන, දර ගෙනෙන, ස්ත්‍රීහු තණ පැල බිඳ තණ ද ලී ද ගෙන ගියාහුය. (3) දෙවනුවත් කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද ලී ද එකතු කොට තණ පැලක් හැදුවේය. දෙවනුත් ( මෙහි ( 2 )) තුන්වෙනුවත් කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද ලී ද එකතු කොට තණ පැලක් හැදුවේය. තුන්වෙනුවත් ( මෙහි ( 2 ))

2 ඉක්බිති කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනියට මෙබඳු සිතක් විය..තණ අදින දර අදින ස්ත්‍රීහු තුන්වෙනි වරත් මගේ තණපැල කඩා තණද ලීද ගෙන ගියාහුය. මම වනාහි මනාසේ උගත් ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ කුම්භකාර කර්‍මයෙහි පිරිසිදු උගත් ශිල්ප ඇත්තෙමි.මම මැටි පාගා මැට්ටෙන් කළ පැලක් කරන්නෙම් නම් යෙහෙකැයි. සිතුවේය.ඉක්බිති කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ, තෙමේම මැටි පාගා මැට්ටෙන්ම කළ කාමරයක් කොට තණද, දරද, ගොමද, එකතුකොට ඒ කාමරය පිලිස්සුවේය.ඒ කාමරය ලක්‍ෂණද දැකීමට ප්‍රිය,සතුට උපදවන, රතුපාට වූවක් විය.ඉඳුගොව්වන් යම්සේ ද එබඳුය.කිංකිණි යන ශබ්දය යම්සේද ඒ කුටියේ ශබ්දය එසේ විය.

3 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂුන් සමඟ ගිජ්ඣකුට පර්වතයෙන් බසින්නේ ලක්‍ෂණ, දැකිමට ප්‍රිය, සතුට, උපදවන රතුපාට ඒ කාමරය දැකිසේක.දැක භික්‍ෂුන්ට කථා කලසේක. , මහණෙනි, ලක්‍ෂණ, දැකීමට ප්‍රිය සතුට, උපදවන රතුපාට ඉඳුගොව්වන් පාට ඇති අර කුමක්ද? ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළ කළාහුය.භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්දා කළසේක. , මහණෙනි, ඒ හිස් පුරුෂයාට නො ගැලපෙන, නො සුදුසු, ශ්‍රමණභාවයට අයත් නොවන, අකැප, නොකටයුතු, නුසුදුස්සකි.මහණෙනි, කෙසේ නම් ඒ හිස් මිනිහා මැට්ටෙන් කළ කාමරයක් කරන්නේද? කෙසේ නම් ඒ හිස් පුරුෂයාට සතුන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් නොවෙහෙසීමක් වන්නේද? මහණෙනි, යව් ඒ කාමරය කඩව්, මතු පරම්පරාව සතුන් කෙරෙහි විපතකට නො පැමිනේවා.මහණෙනි සියල්ල මැටි වූ කාමරයක් නොකටයුතුයි, යමෙක් කරන්නේ නම් දුකුලා ඇවත් වේ. , , ස්වාමීනි , එසේයයි , ඒ භික්‍ෂුහු භග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ කාමරය යම් තැනෙක්හිද එහි පැමුණුනාහුය.පැමිණ, ඒ කාමරය කැඩුවාහුය.ඉක්බිති කුඹල්කරු පුත්‍ර වු ආයුෂ්මත් ධනිය ඒ භික්‍ෂුන්ට ,ඇවැත්නි, කුමක්නිසා තෙපි මාගේ කාමරය කැඩුවාහුදැයි, ඇසූයේය. ,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ කැඩෙව්සේක., , ඇවැත්නි,ඉදින් ධර්‍මස්වාමී තෙමේ කඩවයි නම් කඩව්යයි, කීයේය.

4 ඉක්බිති කුම්භකාර පුත්‍ර ධනියට මේ සිත් විය. ( 2 ) . ගමට පිඬු පිණිස ගිය මාගේ කුටිය තුන්වෙනි වර දක්වා තණ ගෙනෙන්නියෝ දර ගෙනෙන්නියෝ කඩා දමා තණද දරද ගෙනගියාහුය.මා විසින් සියල්ලෙන් මැටි වූ කාමරයක් කරණ ලද්දෙම්ද,එයද භාග්‍යවතුන් වහන්සේ විසින් කඩා දම්මවන ලදී.( 3 ) ලී මඩුවෙහි මාගේ මිත්‍ර වු ගණන් ලියන්නෙක් ඇත.මම ලී මඩුවෙහි ගණන් ලියන්නාගෙන් ලී ඉල්වා ලෑලි ගසා කාමරයක් කරන්නෙම් නම් යෙහෙකැයි . සිතීය. ඉක්බිති කුම්භකාර පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙමේ ලී මඩුවෙහි ගණන් ලියන්නා යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ලී මඩුවෙහි ගණන් ලියන්නාට මෙසේ කීවේය., ඇවැත්නි, ( මෙහි ( 2 )) මට ලී දෙන්න. ලෑලි ගසා කාමරයක් හදාගන්ට වුවමනායයි, කීයේය. , මම ආය්‍ර්‍යයන් වහන්සේට යම්බඳු ලී දෙන්නෙම් නම් එබඳු ලී මා ළඟ නැත.ස්වාමීනි, නුවර කැඩුම් බිඳුම් සැදීමට හදිසි අවස්ථාවට ගැනීමට තැබූ ලී ඇත්තේය. ඉදින් ඒවා රජ තෙමේ දෙන්නේ නම් ගෙන්වා ගන්න, ස්වාමීනි,යි කීවේය. ,ඇවැත්නි, රජුවිසින් දෙනලදී .,

5 ඉක්බිති ලී මඩුවෙහි ගණන් තබන්නා , මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ධර්‍මචාරීය, සමව හැසිරෙන්නෝය, බ්‍රහ්මචාරීය, ඇත්ත කියන්නෝය, සිල්වත්ය, යහපත්ය,රජුද මොවුන්ට පැහැදුනේය, නො දෙනලද්දක් දුන්නේයයි කියන්නට නො සුදුසුයයි,සිතා කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනියට , ස්වාමීනි, ගෙනයව්යයි ,කීවේය.ඉක්බිති කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය ඒ ලී කෑලිවලට කප්පවා කරත්තයකින් පිටත් කරවා ලී බිත්ති යොදා කාමරයක් සෑදුවේය.

6 ඉක්බිති මගධ රටේ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ රජගහ නුවර කර්‍මාන්ත කරවනු ලබන්නේ ලී මඩුවෙහි ගණන් තබන්නා යම් තැනෙක්හිද එහි පැමිණියේය.පැමිණ, ලී මඩුවෙහි ගණන් තබන්නාට , එම්බා ගණකය,නුවර ප්‍රතිසංස්කරණය පිණිස හදිසියක් පිණිස තැබු යම් ඒ රජුට අයත් ලී වෙත්ද ඒ ලී කොහිදැයි, ඇසීය. , ස්වාමීනි, ඒ ලී රජු විසින් කුඹල්කරුගේ පුත්‍ර ධනිය ආය්‍ර්‍යයන්ට දෙන ලද්දේයයි, කීයේය.

7 ඉක්බිති මගධ මහාමාත්‍ය වස්සකාර තෙමේ නො සතුටු විය.රජු නුවර ප්‍රතිසංස්කරණය සඳහා හදිසියකට තැබූ රජුට අයත් ලී කෙසේ නම් කුම්භකාර පුත්‍රවු ධනියට දෙන්නේද? ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර බ්‍රාහ්මණ තෙමේ මගධ රට සේණිය බිම්බිසාර රජු යම් තැනෙක්හිද එහි පැමිණියේය.පැමිණ,මගධ රට සේණිය බිම්බිසාර රජුට ,දේවයන්වහන්ස, රජු විසින් නුවර ප්‍රතිසංස්කරණය පිණිස, හදිසියකට ගැනීම පිණිස තබන ලද ලී කුම්භකාර පුත්‍ර ධනියට දුන්නේය යනු ඇත්තද?,. , කවරෙක් මෙසේ කීයේද?., ,රජතුමනි, ලී මඩුවෙහි ගණන් තබන්නායයි, කීයේය. , බමුණ, එසේ වී නම් ලී මඩුවෙහි ගණන් තබන්නා ගෙන්නවයි, කීයේය. ඉක්බිති මගධ මහාමාත්‍ය වු වස්සකාර තෙමේ ලී මඩුවෙහි ගණන් තබන්නා මාංචු ලෑමට අණ කෙළේය.ආයුෂ්මත් කුම්භකාර පුත්‍ර ධනිය තෙමේ බැඳගෙන යන්නාවු ලී මඩුවෙහි ගණන් තබන්නා දැක ලී මඩුවෙහි ගණන් තබන්නාට ,ඇවැත්නි, ඔබ කුමක් නිසා බැඳගෙන යන්නේදැයි , ඇසීය.,ස්වාමීනි , ඔවුන්ගේ ලී නිසායයි, කීයේය., ඇවැත්නි, යන්න මමත් එන්නෙමියි, කීයේය., ස්වාමීනි, මා මරන්ට පෙර එනුමැනවයි , කීයේය.

8 ඉක්බිති කුඹල්කරුගේ පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙමේ මගධ රට සේණිය බිම්බිසාර රජුගේ රජ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පැණවූ අස්නෙහි වැඩහුන්සේක.ඉක්බිති මගධ රට සේණිය බිම්බිසාර රජ කුඹල්කරුගේ පුත්‍ර ධනිය යම් තැනක්හිද එහි පැමිණියේය.පැමිණ, ආයුෂ්මත් කුම්භකාර පුත්‍ර ධනියට වැඳ එකත්පසෙ සිටියේය.එකත්පසෙක සිටි මගධ රට සේණිය බිම්බිසාර රජ කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනියට ,ස්වාමීනි, නුවර ප්‍රතිසංස්කරණයට හදිසියක් පිණිස තබන ලද රජුගේ ලී ආය්‍ර්‍යයන්වහන්සේට දුන්නේය, යනු ඇත්තදැයි,ඇසීය. , මහරජ එසේය. ,

9 , ස්වාමීනි, අපි වනාහි රජවරු වෙමු.බොහෝ වැඩ බොහෝ කටයුතු ඇත්තෝය.දුන් දේද සිහිතබා නො ගනිමු.ස්වාමීනි, එසේ නම් සිහිකරන්නැයි, කීවේය. ,මහ රජ අභිෂෙක කළ මුල් කාලයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තණ දර, දිය දෙන ලදි.ගනිත්වායි දුන්නේමයයි මෙබඳු වචනයක් කීවා සිහි කරන්නෙහිද?, , ස්වාමීනි, මම සිහිකරමි.ලජ්ජා ඇති සැක ඇති කරන ශික්‍ෂාකාමී ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.ඔවුන්ට ස්වල්පමාත්‍රවු කුකුසක් උපදින්නේය. මා විසින් ඒ සඳහා කියන ලදී.එයද කැලේ අයිතියක් නැත්තෙකු ගැනය.ස්වාමීනි , ඔබ ඒ ස්වල්පයෙන් නො දුන් ලී ගෙනයන්ට සිතුවෙහිය.මා වැන්නෙක් රටේ වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කෙසේ නම් මරන්නේද, බඳින්නේද, පිටිවහල් කරන්නේද? ස්වාමීනි, යන්න නැවත මෙබන්දක් නො කරාවායි , කීයේය.

10 මනුෂ්‍යයෝ නොසතුටු වචන කියති, දොස් නගති, අවනම්බු කරත්, , මේ ශාක්‍යපුත්‍රයෝ පවට බිය නැත, දුශ්ශීලය, බොරු කියන්නෝය,මොවුන් වනාහි ධර්‍මයෙහි හැසිරෙන්නාහුය,සමව හැසිරෙන්නාහ,බ්‍රහ්මචාරීය, ඇත්ත කියන්නාහු සිල්වත්ය, යහපත්යයි,ප්‍රතිඥා කරත්.මොවුන්ට ශ්‍රමණ භාවයක් නැත.මොවුන්ට බ්‍රහ්ම බවක් නැත. මොවුන්ගේ ශ්‍රමණභාවය නැතිවිය.මොවුන්ගේ බ්‍රහ්ම භාවය නැතිවිය.මොවුන්ට ශ්‍රමණභාවයක් කොයින්ද? මොවුන්ට බ්‍රහ්ම භාවයක් කොයින්ද? මොවුන් ශ්‍රමණභාවයෙන් පහවුවාහුය.මොවුන් බ්‍රහ්මභාවයෙන් පහවුවාහුය.මොවුන් රජුන්ද වඤ්චා කරත්.අනෙක් මනුෂ්‍යයන් ගැන කියනුම කවරේ්ද?. භික්‍ෂුහු නො සතුටු බස් කියන්නාවු, දොස් නගන්නාවු, අසතුට ප්‍රකාශ කරන්නාවු, මනුෂ්‍යයන්ගේ වචන ඇසුවාහුය.යම් ඒ භික්‍ෂුකෙනෙක් අල්පේච්ඡ වුවාහුද, ලද දෙයින් සතුටු වුවාහුද, සිල්වත්ද, සැක ඇත්තාහුද, හික්මෙනු කැමැත්තාහුද, ඔවුහු නො සතුටු බස්කියත්.දොස් නගත්. විරුද්ධ වචන කියත්.අසතුට ප්‍රකාශකරත්. .කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ රජුගේ නුදුන් ලී ගන්නේද, කියායි..ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය ප්‍රකාශ කළාහුය.

11 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ සිද්ධියෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා කුම්භකාරපුත්‍ර වු ආයුෂ්මත් ධනිය අතින් , ධනිය, ඔබ රජුගේ නුදුන් ලී ගත්තේ ඇත්තදැයි,ඇසූසේක. ,භාග්‍යවතුන් වහන්ස, ඇත්තය., භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්‍හා කළසේක.,හිස් පුරුෂය, නොසුදුසු, නොගැලපෙන, ශ්‍රමණභාවයට නො අයත්, අකැප, නො කටයුත්තක් කරනලදී.හිස් පුරුෂය තෝ කුමක් හෙයින් නුදුන් රජුගේ ලී ගත්තෙහිද? (2) හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණීස නො පිහිටයි.නැවතද හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ නොපැහදීම පිණිස පැහැදුනාවූ සමහරුන්ගේ කලකිරීම පිණිස වන්නේයයි , වදාළ සේක.

12 එකල්හි වනාහි පැරණි නඩු ඇසූ මහාමාත්‍යයෙක් භික්‍ෂුන් කෙරෙහි පැවිදිවුයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටියේ වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් ,මහණ, කීයකින් මගධ රට සේණිය බිම්බිසාර රජ සොරෙකු ගෙන නසයිද, බඳියිද, පිටුවහල් කරයිදැයි , ඇසූසේක..පාදයකින් ( කහවනුවෙන් හතරෙන් පංගුවකින් ) හෝ පාදයක් වටිනා දෙයකිනියි. ( කීයේය ) එකල්හි වනාහි රජගහ නුවර පාදයක් මසු පසක් වේ.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනියට නොයෙක් ආකාරයෙන් නින්‍දාකොට ( මෙහි ප්‍රථම පාරාජික ශික්‍ෂාපදයේ සුදින්න බණවරෙහි 31 ඡෙදයේ අවසානයේ ,සැහැල්ලු නොවු, යන තැන සිට ඡෙදය අවසානයට යොදන්න. )

13 , යම් කිසි භික්‍ෂුවක් යම්බඳු නුදුන් දෙය ගැනීමකට රජවරු සොරකු අල්වා , සොරෙකි, මෝඩයෙකි, මුලාවූවෙකියි, ගත්තෙකියි, මරන්නාහු නම්, හෝ බඳින්නාහු නම්, රටින් පිට කරන්නාහු නම් නුදුන් සොරකමකැයි කියන ලද්දක් ගනීද,එබඳු නුදුන් දෙයක් ගන්නාවු මේ මහණ තෙමේද පාරාජිකා වේ. ( පැරදුනේය )ආශ්‍රයට නුසුදුසුය., භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේද මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.

14 එකල්හි වනාහි ඡබ්බග්ගිය භික්‍ෂුහු රෙදි අපුල්ලන්නන් රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කරගෙන පන්සලට ගෙන ගොස් බෙදුවාහුය.
භික්‍ෂුන් වහන්සේලා , ඇවැත්නි තෙපි මහ පින් ඇත්තෝය.තොපට බොහෝ සිවුරු ලැබුනේයයි, මෙසේ කිවාහුය. .ඇවත්නි, අපට පින් කොයින්ද? දැන් අපි රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරා ගනිමුයි. කීවාහුය. ඇවත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පණවනලද්දේ නොවේද? ඇවැත්නි, තෙපි කුමක් හෙයින් රෙදි පොට්ටනියක් සොරකම් කරන්නහුදැයි?. ඇසූහ. .ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද පණවන ලද්දේ ඇත්තය, එයද ගමෙහිය , අරණ්‍යයෙහි නොවේ.ඇවත්නි , නො ගැලපෙන, නුසුදුසු , ශ්‍රමණභාවයට නො ගැලපෙන අකැප නො කටයුත්ත නුසුදුසුය. එය එසේ නො වේද? ඇවැත්නි , කෙසේ නම් තෙපි රෙදි පොට්ටනි සොරකම් කරන්නහුද? ඇවැත්නි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදිම පිණිසත් පැහැදුනවුන්ගේ වැඩි පැහැදිම පිණිසත් නොවේ.ඇවැත්නි, නැවත නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුන ඇතම් කෙනෙකුගේ වෙනස් වීම පිණිසවේ.

15 ඉක්බිති ඒ භික්‍ෂුහු ඡබ්බග්ගිය භික්‍ෂුන්ට නොයෙක් ආකාරයෙන් නින්දා කොට භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළකළාහුය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ සිද්ධියෙහි භික්‍ෂු සංඝයා රැස්කරවා , මහණෙනි, තෙපි රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් ගෙනාවහුයයි කියන්නේ ඇත්තදැයි, ඇසිය. ,භාග්‍යවතුන් වහන්ස, ඇත්තය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්දා කළසේක.. හිස් පුරුෂවරුණි, නො ගැලපෙන , නුසුදුසු ,ශ්‍රමණභාවයට නො ගැලපෙන, අකැප, නො කටයුත්තක් කළාහුය.හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහුද? හිස් පුරුෂයෙනි, මෙය ( මෙහි 11 ඡෙදයේ ( 2 ) යොදන්න ) , ඒ භික්‍ෂුව,වෙනුවට . ඒ භික්‍ෂුන් සය දෙනාට.යොදාගත යුතුයි. ) ,යම්කිසි භික්‍ෂුවක් ගමින් හෝ අරණ්‍යයෙන් හෝ නුදුන් , සොරකමකැයි කියන ලද්දක් ගනීද, යම්බඳු නුදුන් දෙය ගැනීමකට රජවරු සොරකු අල්ලා සොරෙකි, මෝඩයෙකි, මුළාවුවෙකි, ගත්තෙකැයි මරත් නම් හෝ බඳින්නාහු නම් හෝ රටින් පිට කරන්නාහු නම් එබඳු නුදුන් දෙයක් ගන්නාහු මේ මහණ තෙමේද පාරාජිකා වේ , ආශ්‍රයට නුසුදුසු වේ.


ප්‍රධාන වෙබි අඩවියට පිවිසෙන්න ලංකාට්‍රොනික්



No comments:

Post a Comment